“ සුඛෝ බුද්ධානං උප්පාදෝ ”
ලෞකික ආශාවන් අරමුණු වශයෙන් ඉදිරියෙහි තබාගෙන තෙරක් නොමැති සසර සයුරෙහි සැරි සරන ලෝකවාසී (ලෝකසන්නිවාස) සත්වයාට ඉන් එතෙර වීමට අවශ්ය වන්නේ සංසාරයේ ස්වභාවය යම්බදු පමණකට හෝ අවබෝධ වූ පසුවය. මහ පොළොවෙන් නිය පිටට ගත් පස් ස්වල්පයක් වන් ප්රමාණයක් සසර කතර එතෙර කොට නිවන හෙවත් විමුක්තියට, නිවීමට පත්වන අතර තවත් බොහෝ ප්රමාණයක් වූ ඇසට පෙනෙන නොපෙනෙන සත්ව කොට්ඨාශයක් සසරම සැපයක් කොට සිතමින් මහා සුළඟකට හසුවූ පුළුන් කැබැල්ලක් මෙන් අස්ථීර ස්වභාවයෙන්ම යුක්තව ස්ථීර සැපයක් ගැන සිතමින් කටයුතු කරති.
එබදු සත්වයා නිතර රාග ද්වේශාදී ගිනිවලින් දැඩි පීඩා විඳියි. උපන්නා වූ සත්වයා මරණය දක්වා වටිනායැයි සම්මත භෞතික දෑ කෙතරම් රැස් කළද එය ඔවුන්ගේ නිවීම සැනසීම පිණිස නොපවතියි. තමා සතු කරගන්නා දෙයින් තාවකාලික වින්දනයක් ලැබුවද එයින් සෑහීමකට පත් නොවේ. තවත් දෑ එකතු කිරීමේ ආශාව පවතී. ඒ නිසාම ඔවූහු තෘෂ්ණාවේ දාසයෝ බවට පත්වෙති. මෙලොව නොලැබෙන දේ පරලොව හෝ ලැබේවා යැයි ප්රාර්ථනා කරති. තමා පතන දෙය ඉටු වීමෙන් සතුටටද එසේ නොවීමෙන් දුකටද පත්වෙති. නිරන්තරයෙන් සසරෙහිම ඇළෙමින් සසරම පතමින් මෙලෙස අවිද්යාන්ධකාරයෙන් වැසී කටයුතු කරන සත්වයාගේ ස්වභාවය විසිරී ගිය නූල් බෝලයකට සමානය. අගක් මුලක් සොයා ගැනීම අපහසුය.
මෙම දුක් සහිත සසරෙහි පීඩා විදින සත්වයන්ගේ ස්වභාවය අවබෝධ කොටගෙන ඔවුන් එයින් එතෙර කරන්නට කටයුතු කළ උතුමාණන් වහන්සේලා බුදුරජාණන් වහන්සේලාය. උන්වහන්සේලා වැසී පවතින නිවන් දොර විවර කරමින් ලෝක සත්වයාට අවිද්යාන්ධකාරයෙන් මිදෙන්නට ආලෝකය ලබාදුන් උතුමාණන් වහන්සේලාය. සත්වයා සසරෙහි විදින දුකත්, එයට හේතුවත්, එයින් නිදහස් වීමත් නිසි පරිදි අවබෝධ කරගන්නා ලද බුදුරජාණන් වහන්සේලා වර්ණය, හිතවත්කම, ධනවත්කම, බලවත්කම ආදිය අනුව වෙනස් නොවන අප්රමාණ කරුණාවකින් ලෝකයාගේ හිතසුව පිණිස කටයුතු කරති. එය උන්වහන්සේලා සතු මහා කරුණාවයි.
එලෙස ලෝක සත්වයා වෙත පතුරවනු ලබන බුදුරජාණන් වහන්සේලාගේ “මහා කරුණාව” කෙබදුද යනුවෙන් සැදැහැවතුන්ට දැනගන්නට ‘පටිසම්භිදාමග්ගය’ නම් ග්රන්ථය ඇසුරු කරමින් මෙම ධර්ම ග්රන්ථය සම්පාදනය කිරීම පිළිබදව ගල්ලෙන් ආරණ්ය සේනාසනයෙහි වැඩ වසන කොළඹගම ධම්මදීප ස්වාමීන් වහන්සේට පුණ්යානුමෝදනා සිදුකරන අතර සසුන් ලැදි භික්ෂූන් වහන්සේ නමක් වන උන්වහන්සේ බොහෝ දෙනාගේ හිතසුව පිණිස ධර්ම දානයක් වශයෙන් සිදුකරන මෙම ශාසනික සේවය අගය කොට සළකමි. එසේම උන්වහන්සේටත් නිර්වාණාවබෝධය පිණිස මෙම ධර්ම දානයද හේතු වේවායි ප්රාර්ථනා කරමි.
රාජකීයපණ්ඩිත පූජ්‍ය පීනගම නන්දසිරි හිමි
සමගි බෞද්ධ මධ්යස්ථානය
නිස්සරණ වන මාවත
මීතිරිගල